මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) වැඩසටහනට අදාළ පූර්ව යෝජනා හමුව (Pre-Proposal Meeting) අද (22) දින මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පැවැත්වුණා. වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණා.
දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු මෙසේය:
ගුවන්සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම:
ලංකාවේ පවතින උපායමාර්ගික පිහිටීම උපරිමයෙන් භාවිත කරමින් මත්තල ගුවන්තොටුපොළ කලාපීය ගුවන්සේවා මධ්‍යස්ථානයක් (Regional Aviation Hub) බවට පත් කිරීමේ විශාල හැකියාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. නවීන ගුවන්තොටුපොළක් යනු මගී ප්‍රවාහනයට පමණක් සීමා නොවී, ආයෝජන, රැකියා උත්පාදනය මෙන්ම කලාපීය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් විය යුතු බව ද ඔහු අවධාරණය කළා.
රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වය:
මත්තල ගුවන්තොටුපොළ ගුවන්සේවා ක්ෂේත්‍රයට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් එක්ව සිටියා. ඒ අතර ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ (AASL) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සිටියා.














