2026 වසරේ ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතාව (APEC) සංවිධානයේ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ නිල රැස්වීම අද (22) පෙරවරුවේ චීනයේ ජියැංසු (Jiangsu) පළාතේ සුෂෝ (Suzhou) නගරයේ දී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ආසියා ශාන්තිකර කලාපයේ මෙන්ම ගෝලීය ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්තීන් සඳහා වන ප්‍රධාන ‘මගපෙන්වීමක්’ ලෙස මෙම අමාත්‍යවරුන්ගේ රැස්වීම ලෝක ආර්ථික ක්ෂේත්‍රය තුළ සලකනු ලබන අතර, මෙම වසර චීනය විසින් APEC සංවිධානයේ සත්කාරකත්වය දරනු ලබන තුන්වැනි වසර ලෙස ද වාර්තා පොත්වලට එකතු වේ.
මෙවර රැස්වීම පවත්වනු ලබන්නේ ‘පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාව ගොඩනගමින් පොදු සමෘද්ධිය තහවුරු කිරීම’ යන ‘එපෙක් චීන වසරේ’ නිල තේමාව කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව, ආසියා ශාන්තිකර කලාපයන්හි නිදහස් වෙළඳ ප්‍රදේශ (FTA) සංවර්ධනය කිරීම සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය (Multilateral Trading System) ආරක්ෂා කිරීම කෙරෙහි මෙහිදී දැඩි අවධානයක් යොමු කෙරේ. මීට අමතරව කලාපීය ඩිජිටල් සහයෝගීතාව (Digital Cooperation) තවදුරටත් පුළුල් කිරීම සහ පරිසර හිතකාමී හරිත ආර්ථිකය (Green Economy) ප්‍රවර්ධනය කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරේ සහයෝගිතාවන් වර්ධනය කර ගැනීම සඳහා ද අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමුවනු ඇත.













