ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම රජයේ ප්‍රතිපත්තියක හෝ ගත් වැරදි තීරණයක ප්‍රතිඵලයක් නොව, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය ඇතුළු ගෝලීය අර්බුද හේතුවෙන් හටගත් තත්ත්වයක් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදී පෙන්වා දුන් ප්‍රධාන කරුණු මෙසේය:
ගෝලීය අර්බුද සහ ඉන්ධන බිල:
මැදපෙරදිග යුද වාතාවරණය නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික හා රක්ෂණ ගාස්තු (Shipping & Insurance Charges) ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙහි සෘජු බලපෑමක් ලෙස, පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ඉහළ ගිය මිල ගණන් යටතේ ලබාගත් ඉන්ධන සඳහා මැයි මාසයේදී පමණක් ඩොලර් මිලියන 521ක දැවැන්ත බිලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ. ඩොලරයට ඇති ඉල්ලුම එකවර ඉහළ යාමට සහ රුපියල අවප්‍රමාණය වීමට මෙම දැවැන්ත ගෙවීම සෘජුවම බලපා ඇත.
ආනයන සීමා කරන්නේ නැහැ – ඩොලරය 330ට බසියි:
පවතින තත්ත්වය හමුවේ වුවද කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමක් (Import Restrictions) කිරීමට හෝ ආර්ථිකය හැකිළීමකට රජය තීරණය කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය. ජනතාවට සුබ ආරංචියක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ, අද දින වන විට අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලරයේ අගය නැවතත් රුපියල් 330ක මට්ටම දක්වා පහත වැටෙමින් ශක්තිමත් වී ඇති බවයි.
මැයි 27 වෙනිදා IMF සල්ලි එයි:
රටේ විදේශ විනිමය තත්ත්වය තවදුරටත් ස්ථාවර කරමින්, එළඹෙන මැයි 27 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 700ක වාරික දෙකක් එකවර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අනිල් ජයන්ත මහතා පැවසීය. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) සහ ලෝක බැංකුවෙන් (World Bank) ද තවත් ඩොලර් මිලියන සිය ගණනක මූල්‍ය සහාය ඉදිරියේදී ලැබීමට නියමිත බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.














