ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් සහ අමෙරිකානු තැපැල් බලධාරීන්ට ගෙවිය යුතුව තිබූ ඩොලර් 625,000ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම වංචාව සිදුව ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල ඊමේල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී, ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ද්විපාර්ශ්වික ණය වාරිකයකට අදාළ මුදල් හිතාමතා වෙනත් ගිණුම්වලට හරවා ගැනීමෙනුයි. මේ හරහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට යැවීමට තිබූ ගෙවීම් වවුචර් හයකින් හතරක්ම වංචාකරුවන් අතට පත්ව ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
සොරාගත් මුදල් අමෙරිකාවේ විවිධ ප්‍රාන්තවල බැංකු ගිණුම් හරහා ගමන් කර ඇති බව හඳුනාගෙන ඇති අතර, “Biz Solutions” නමැති සමාගමක් හරහා මෙම මුදල් හුවමාරුව සිදුව ඇති බව විමර්ශකයින් සැක කරනවා. අමෙරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ ලියාපදිංචි කර ඇති මෙම සමාගම හරහා වංචාව සිදුකර ඇත්තේ එහි පවතින නම්‍යශීලී ව්‍යාපාරික නීති රීතිවලින් වාසි ලබා ගැනීමට විය හැකි බවයි පැවසෙන්නේ.
අමෙරිකානු තානාපති කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් සහ FBI නිලධාරීන් අතර මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර, වංචාවට සම්බන්ධ අමෙරිකාවේ සිටින ඕනෑම සැකකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් පොරොන්දු වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම මුදල් අවසාන වශයෙන් ගොඩ බැස ඇති ගිණුම් හෝ ගනුදෙනු මාර්ග පිළිබඳව තවමත් නිශ්චිත තහවුරු කිරීමක් සිදු කර නොමැත.
FBI ආයතනය විසින් මෙම විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ පූර්ණ සහය ලබා දීමට එකඟ වී තිබෙනවා.














