ඉන්දියාවේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයට සහ පාලන තන්ත්‍රයට එරෙහිව එරට තරුණ පරපුර (Gen Z) විසින් දියත් කරන ලද වඩාත්ම ආන්දෝලනාත්මක සහ අපූර්ව සමාජ මාධ්‍ය ව්‍යාපාරය ලෙස ‘කොක්රෝච් ජනතා පක්ෂය’ හෙවත් කැරපොතු ජනතා පක්ෂය (Cockroach Janta Party – CJP) ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. මුලදී උපහාසාත්මක මෙන්ම හාස්‍යය උපදවන සුළු ව්‍යාපාරයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ වුවද, ඉතා කෙටි කාලයක් තුළ මිලියන සංඛ්‍යාත තරුණ පිරිසකගේ ආකර්ෂණය දිනා ගනිමින් ඉන්දීය දේශපාලන බලධාරීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට මෙම ව්‍යාපාරය සමත්ව ඇත.
මෙම අපූර්ව දේශපාලන සටන ආරම්භ වීමට මූලිකම හේතුව වූයේ පසුගිය මැයි 15 වන දින ඉන්දීය අගවිනිසුරු සූර්ය කාන්ත් මහතා විසින් සිදු කරන ලදැයි කියන මතභේදාත්මක ප්‍රකාශයකි. අධිකරණ කටයුත්තක් අතරතුර අදහස් දක්වමින් ඔහු, රටේ රැකියා විරහිත තරුණයින් ‘කැරපොත්තන්ට’ සහ සමාජයේ ජීවත්වන පරපෝෂිතයන්ට සමාන කිරීමත් සමඟ එරට තරුණ ප්‍රජාව දැඩි ලෙස කෝපයට පත් වූහ. අගවිනිසුරුවරයා පසුව ඒ පිළිබඳව විවිධ පැහැදිලි කිරීම් සිදු කළ ද, ඉන්දියාවේ Gen Z තරුණයින් එම අපහාසාත්මක වදනම තමන්ගේ අභිමානය සහ පාලකයන්ට එරෙහි විරෝධය සංකේතවත් කරන ප්‍රධාන සලකුණ බවට පරිවර්තනය කර ගත්හ.
මෙම සිදුවීමෙන් පසු දිනම, වයස අවුරුදු 30ක් වූ තරුණ දේශපාලන සන්නිවේදන උපායමාර්ගිකයෙකු වන අභිජීත් දිප්කේ විසින් “කොක්රෝච් ජනතා පක්ෂය” නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඔවුන්ගේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන්ව හඳුන්වා දී ඇත්තේ “අලස සහ විරැකියාවෙන් පෙළෙන තරුණයින්ගේ සැබෑ හඬ” ලෙසයි. මෙම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ද ඔවුන් අපූර්ව විහිලු සහගත නිර්ණායක පනවා ඇති අතර, ඒ අතර විරැකියාවෙන් පෙළීම, අලස වීම සහ වෘත්තීය මට්ටමින් පාලකයින්ගේ වැරදිවලට මැසිවිලි නැගීමේ හැකියාව තිබීම වැනි දේ ඇතුළත් වේ. හාස්‍යය පෙරදැරි කර ගත්ත ද, මෙම ව්‍යාපාරය ඉන්දියාවේ පවතින උග්‍ර රැකියා විරහිතභාවය, විභාග ප්‍රශ්ණ පත්‍ර කාන්දුවීම්, දූෂණය සහ බඩු මිල ඉහළ යාම වැනි බරපතල සමාජ ගැටලුවලට එරෙහිව සිය විරෝධය පළ කරන සාර්ථක මෙවලමක් බවට පත්ව ඇත.














