කඳාන පොලිස් වසමට අයත් හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර අද (23) රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය නිවේදනය කරයි. ඒ අනුව අද රාත්‍රී 7:00 ට විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර කඳාන නගරය මධ්‍යයෙන් ගම්පහ – කඳාන මාර්ගයේ සහ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කර නැවත විහාරස්ථානය වෙත ගෙවැදීමට නියමිතව ඇත.
මාර්ග වසා තැබෙන සහ පෙරහැර ගමන් ගන්නා කාලසටහන පහත පරිදි වේ:
රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:30 දක්වා: ගම්පහ – කඳාන මාර්ගයේ රාගම වැව හන්දියේ සිට මීගමුව මාර්ගයේ ගණේමුල්ල මංසන්ධිය දක්වා පෙරහැර ගමන් කරනු ඇත.
රාත්‍රී 10:30 සිට පසුදින (24) අලුයම 1:00 දක්වා: කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල් හන්දිය දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතය.
මේ හේතුවෙන් රාත්‍රී 10:30 සිට අලුයම 1:00 දක්වා කාලය තුළ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල දක්වා කොළඹ දෙසට ධාවනය වන මංතීරු දෙකම සම්පූර්ණයෙන් වසා තැබීමට පොලිසිය පියවර ගෙන ඇත. එම කාලසීමාව තුළ කොළඹ සහ මීගමුව දෙසට ගමන් ගන්නා රියදුරන්ට අධික රථවාහන තදබදයක් මඟහරවා ගැනීම සඳහා හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














