2026 මැයි 23
උතුරු ගාසා තීරයේ පිහිටි පලස්තීන පොලිස් මුරපොලක් ඉලක්ක කරගනිමින් සෙනසුරාදා (අද) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ගාසා පොලිස් අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කරයි. හමාස් පාලනය යටතේ පවතින පොලිස් බලකාය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර මෑතකදී ඉහළ දමා ඇති පසුබිමක මෙම සිදුවීම වාර්තා වී තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු මැදිහත් වීමෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුමෙන් (Ceasefire) පසුව, හමාස් පාලනය යටතේ පවතින ප්‍රදේශවල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මෙම පොලිස් බලකාය අනුයුක්ත කර තිබුණි. ගාසා පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ‘තවාම්’ (Tawam) කලාපයේ පිහිටි පොලිස් ස්ථානයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
වත්මන් දේශපාලන පසුබිම තුළ හමාස් සංවිධානය සතු 10,000කට ආසන්න මෙම පොලිස් බලකාය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති “ගාසා සාම සැලසුම” (Trump’s Gaza Plan) ඉදිරියට රැගෙන යාමට පවතින ප්‍රධානතම ගැටලුවක් බවට පත්ව ඇත. හමාස් සංවිධානය ඉල්ලා සිටින්නේ මෙම සාම සැලසුම යටතේ පිහිටුවීමට නියමිත නව පොලිස් බලකායට තමන්ගේ වත්මන් නිලධාරීන් ද ඇතුළත් කරගත යුතු බවයි. නමුත් හමාස් සංවිධානයට සම්බන්ධ කිසිදු නිලධාරියෙකු නව ආරක්ෂක ව්‍යුහයට ඇතුළත් කර ගැනීමට ඊශ්‍රායලය දැඩි ලෙස විරෝධය පළ කරයි.
හමාස් සංවිධානය සිය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කිරීම සහ සටන් විරාමයෙන් පසුව ද ගාසා තීරය තුළ දිනපතාම පාහේ සිදුවන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මෙම සාම සාකච්ඡා මේ වන විට සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි ඔක්තෝබර් සටන් විරාමයෙන් පසුව පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 880කට අධික පිරිසක් මියගොස් ඇති අතර, සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළුන් හතරදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.














