දෙරට අතර පවතින දැඩි දේශපාලන නොසන්සුන්තාව මධ්‍යයේ දේශසීමා පසුකරමින් දකුණු කොරියාව බලා පැමිණි උතුරු කොරියානු ‘නෙගෝහ්යෑන්ග්’ (Naegohyang) කාන්තා පාපන්දු කණ්ඩායම, ආසියානු කාන්තා චැම්පියන්ස් ලීග් (Asian Women’s Champions League) තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඓතිහාසික වාර්තාවක් තබා තිබේ. දකුණු කොරියාවේ සූවොන් (Suwon) නුවරදී පැවැති අවසන් මහා තරගයේදී ජපානයේ ප්‍රබල ‘ටෝකියෝ වර්ඩි බෙලෙසා’ (Tokyo Verdy Beleza) කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ඔවුහු මෙම කුසලානය හිමිකර ගත්හ.
තරගයේ ජයග්‍රහණයෙන් පසු උතුරු කොරියානු ක්‍රීඩිකාවන් සිය ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩාංගණය වටා ගමන් කරමින් සතුට සැමරූහ. සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක පනත (National Security Act) යටතේ උතුරු කොරියානු ධජය ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති නමුත්, මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලදී ඊට විශේෂ අවසරයක් හිමිවේ. තරගයේ පළමු භාගය නිමා වීමට සුළු මොහොතකට පෙර කණ්ඩායමේ නායිකා කිම් ක්යොන්ග් යොන්ග් (Kim Kyong Yong) විසින් වාර්තා කළ සුපිරි ගෝලය නෙගෝහ්යෑන්ග් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් ලබන වසරේ පැවැත්වීමට නියමිත, ලොව ප්‍රධාන මහාද්වීප 6හි ශූරයන් තරග වදින ‘ෆිෆා කාන්තා චැම්පියන්ස් කුසලාන’ (Fifa Women’s Champions Cup) තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තේය.
දෙරට අතර පවතින දැඩි ගමන් බිමන් සීමා කිරීම් හේතුවෙන් තරගය නැරඹීම සඳහා උතුරු කොරියානු ආධාරකරුවන්ට අවස්ථාව නොලැබුණ ද, දකුණු කොරියාවේ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහය ලබන සිවිල් සංවිධානවල සාමාජිකයන් 1,200ක් පමණ උතුරු කොරියානු කණ්ඩායමට දිරිදීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දකුණු කොරියානු මාධ්‍යවේදියෙකු විසින් උතුරු කොරියාව “උතුරු පාර්ශවය” (North Side) ලෙස ආමන්ත්‍රණය කරමින් නැඟූ ප්‍රශ්නයක් හේතුවෙන් කෝපයට පත් වූ කණ්ඩායමේ පුහුණුකරු රී යූ ඉල් (Ri Yu Il) සහ ගෝලය වාර්තා කළ කිම් ක්යොන්ග් යොන්ග් මාධ්‍ය හමුවෙන් පිටව ගියහ.














