විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ බරපතළ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ප්‍රකාශ කළේ, මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මීට පෙර රතු නිවේදන ලබාගෙන සිටි සැකකරුවන් 35 දෙනෙකු සහ වෙනත් විවිධ වැරදිවලට සම්බන්ධ වැරදිකරුවන් 33 දෙනෙකු ඇතුළුව සමස්තයක් ලෙස පුද්ගලයින් 68ත් 70ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට හැකිව ඇති බවයි.මීට අමතරව දැනට ලබාගෙන ඇති අනෙක් රතු නිවේදන 226 කට්ටලයට අයත් සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිස ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි රටවල සැඟව සිටින බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම, ඔවුන් සියලු දෙනාම නුදුරේදීම ලංකාවට රැගෙන ඒමේ ජාත්‍යන්තර නීතිමය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













