රටක් ලෙස නැවත ශක්තිමත්ව නැගී සිටීමට මෙන්ම විවිධ ආපදා හේතුවෙන් හානි වූ දේපළ යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරිය වන ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය සමඟ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති විශේෂ ද්විපාර්ශ්වික හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා – කැනඩා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් පැවැත්වුණු මෙම සාකච්ඡාවේ ප්‍රධාන කරුණු මෙසේය:
“දිට්වා” සුළි කුණාටුවේ බලපෑම සහ ආර්ථික අභියෝග:
මෙම ද්විපාර්ශ්වීය හමුවේදී විපක්ෂ නායකවරයා සහ කැනඩා මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන සාර්ව ආර්ථික අභියෝග (Macroeconomic Challenges) පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. විශේෂයෙන්ම මෑතකදී බලපෑ “දිට්වා” (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් රට තුළ සිදු වූ දැවැන්ත දේපළ විනාශය සහ ඉන් අනතුරුව රටට බලපෑ බරපතළ සමාජ ආර්ථික අභියෝගයන් පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේ දැඩි අවධානය යොමු විය.
ප්‍රජාවන් වෙනුවෙන් ක්ෂණික සහන:
ආපදා තත්ත්වයන් සහ ආර්ථික පීඩනය හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව තුළ දැඩි බලපෑමට මෙන්ම අවදානමට ලක්ව සිටින පොදු ප්‍රජාවන් වෙනුවෙන් ක්ෂණික සහන සැලසීම, යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ ඔවුන්ගේ බිඳ වැටුණු ජීවනෝපාය මාර්ග නැවත ගොඩනැඟීම සඳහා රජය සහ ජාත්‍යන්තරය ප්‍රමුඛත්වය දිය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














