පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක කාලය සඳහා ද දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සඳහන් කරන්නේ, අත්තනගලු ඔය සහ ඊට සම්බන්ධිත අතු ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් සහගත ලෙස ඉහළ මට්ටමක පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.
මේ අනුව, අත්තනගලු ඔය ද්‍රෝණියට සහ උඩුගං ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් විශේෂයෙන්ම ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, ජා-ඇල සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශ රැසක් තවදුරටත් ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වීමේ හෝ අලුතින් යටවීමේ දැඩි අවදානමක් පවතී.
පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් රැසක් පීඩාවට පත්ව සිටින පසුබිමක, මෙම අනතුරු ඇඟවීම තවත් පැය 48ක් දක්වා දීර්ඝ කිරීමත් සමඟ ගංගා දෙපස සහ පහත් බිම්වල වෙසෙන ජනතාව අතිශය විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. හදිසි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ අදාළ ප්‍රදේශවල තවදුරටත් සීරුවෙන් තබා ඇත.














