ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඔරේන්ජ් ප්‍රාන්තයේ (Orange County) පිහිටි නිෂ්පාදන කර්මාන්තශාලාවක හටගෙන ඇති විෂ රසායනික කාන්දුවක් සහ ටැංකියක් පුපුරා යාමේ දැවැන්ත අවදානමක් හේතුවෙන් කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) විසින් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
බීබීසී පුවත් සේවයට අනුව, ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදාගන්නා, අධික ලෙස වාෂ්පශීලී සහ ගිනිගන්නා සුලු රසායනික ද්‍රව්‍යයක් වන ‘මෙතිල් මෙතක්‍රිලේට්’ (Methyl Methacrylate) ගැලුම් 7,000ක් පමණ අඩංගු ටැංකියක් මෙලෙස පිපිරීමේ හෝ බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇත. මේ හේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස එහි ගාඩන් ග්‍රෝව් (Garden Grove) කලාපයේ පදිංචි 50,000කට ආසන්න සිවිල් වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ආරක්ෂක අංශ නියෝග කර තිබේ.
අර්බුදකාරී තත්ත්වය සහ සහන මෙහෙයුම් පිළිබඳ විස්තර මෙසේය:
අඛණ්ඩව ඉහළ යන උෂ්ණත්වය:
ඔරේන්ජ් ප්‍රාන්තයේ ගිනි නිවීම් බලධාරී ප්‍රධානී ක්‍රේග් කෝවි (Craig Covey) ප්‍රකාශ කර ඇත්තේ, මෙම විෂ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හෝ ටැංකිය මුළුමනින්ම පුපුරා යාම යන බරපතළ තත්ත්වයන් ද්විත්වය කෙරෙහිම තමන් අවධානය යොමු කර ඇති බවයි. ඊයේ (23) වන විට මෙම ටැංකියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 (ෆැරන්හයිට් 90) දක්වා ඉහළ ගොස් තිබූ අතර, එය පැයට ෆැරන්හයිට් අංශකයකින් පමණ අඛණ්ඩව ඉහළ යමින් පවතී. ටැංකියේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සහන කණ්ඩායම් දිගින් දිගටම ජලය ඉසීමට කටයුතු කළ ද, එහි පවතින අක්‍රිය කපාටයක් (Inoperable valve) හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත.
ඩිස්නිලන්තයට බලපෑමක් නැහැ:
මෙම අනතුරුදායක කර්මාන්ත ශාලාව ලොව සුප්‍රකට ‘ඩිස්නිලන්ත’ (Disneyland) තේමා උද්‍යානයේ සිට සැතපුම් 5ක් (කිලෝමීටර 8ක්) පමණ නුදුරින් පිහිටා තිබේ. කෙසේ වෙතත්, ඩිස්නිලන්තය පවතිනුයේ මෙම අවදානම් කලාපයෙන් බැහැරව බැවින් එය සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව නිලධාරීහු සහතික කරති.
රසායනික ද්‍රව්‍ය කාන්දු වුවහොත් ඒවා මුහුදට හෝ කාණු පද්ධතිවලට ගලා යාම වැළැක්වීම සඳහා මේ වන විට ටැංකිය වටා විශේෂ බැමි සහ වේලි ඉදිකිරීමට ද පියවර ගෙන ඇත. ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ පාසල් සියල්ල වසා දමා ඇති අතර ප්‍රධාන මාර්ග කිහිපයක පිටවීම් ද සම්පූර්ණයෙන්ම අවහිර කර තිබේ.













