අතිශය විෂ සහිත පළිබෝධනාශක වර්ග 1990 වසරේ සිට ක්‍රමයෙන් තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්, මෙරට සිදුවන සියදිවි නසාගැනීම් ප්‍රමාණය සියයට 70ක පමණ කැපී පෙනෙන අගයකින් අඩු කරගැනීමට හැකිව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවට (World Health Assembly) සමගාමීව සංවිධානය කර තිබූ “පළිබෝධනාශක මඟින් සියදිවි නසාගැනීම් වැළැක්වීම” පිළිබඳ විශේෂ සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ජාත්‍යන්තර සමුළුවේදී ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු මෙසේය:
ශ්‍රී ලංකාවෙන් ලෝකයටම යෝජනාවක්:
ගෝලීය වශයෙන් සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සෑම රටක්ම තමන්ගේ ජාතික උපායමාර්ගික සැලසුම්වලට පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සහ පාලනය කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ලෝක ප්‍රජාව වෙත යෝජනා කර සිටියේය. ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථක ප්‍රගතිය සෙසු රටවලට ද කදිම ආදර්ශයක් බව ඔහු පෙන්වා දුන්නේය.
සහභාගීත්වය සහ සංවිධානය:
ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව සහ පාකිස්ථානය යන රටවල් ඒකාබද්ධව මෙම විශේෂ පැතිකඩ සැසිවාරය සංවිධානය කර තිබුණි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO), එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මෙන්ම ජාත්‍යන්තර සියදිවි නසාගැනීම් වැළැක්වීමේ සංගමයේ (IASP) සෘජු හවුල්කාරීත්වය සහ සහයෝගය ද හිමිව තිබීම විශේෂත්වයකි.
















