සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් සතිය ආරම්භ වෙත්ම, මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ ප්‍රධාන ආගමික ස්ථානයක (දේවස්ථානයක) මස් පිණිස ගවයන් 14 දෙනෙකු එකවර ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත්, එම මහා ගව ඝාතනය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ සහ අළුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ මෙන්ම මහනුවර හිටපු මහ නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා විශේෂ ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.
හිටපු පුරපතිවරයාගේ අත්සනින් යුතුව මෙම විශේෂ නිල ලිපිය යොමුකර ඇත්තේ මහනුවර වත්මන් පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා වෙතයි. මීට අමතරව එම ලිපියේ පිටපත් නියෝජ්‍ය පුරපතිවරයා, විපක්ෂ නායකවරයා සහ මහනුවර නාගරික කොමසාරිස්වරිය වෙතද කඩිනම් පියවර ගැනීම සඳහා යොමුකර ඇත.
උතුම් වෙසක් උත්සවය නිමිත්තෙන් සමස්ත රටම ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන සහ හිංසනයෙන් තොර අධ්‍යාත්මික සතියක් ගත කරන මෙවැනි වටපිටාවක, මහනුවර නගර සීමාව තුළ මෙලෙස විශාල වශයෙන් සතුන් ඝාතනය කිරීමට සූදානම් වීම බෞද්ධ ජනතාවගේ මෙන්ම පොදු මහජනතාවගේ දැඩි කනගාටුවට හේතුවක් වන බැවින්, නගර සභාවේ බලතල උපයෝගී කරගනිමින් මෙය වහාම වැළැක්වීමට මැදිහත් වන ලෙස බස්නායක නිළමේවරයා නගර සභා බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














