පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති බරපතල චෝදනා හමුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින බවත්, විශේෂයෙන්ම නීතිය සැමට සමාන ලෙස ඉටු කරන බවට වූ පොරොන්දුව මෙම සිද්ධිය හරහා දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.
ජාතික ජන බලවේගය බලයට පත්වූයේ ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන බවට වූ ප්‍රබල පොරොන්දුවක් මත වුවද, අටමස්ථානාධිපති ධුරය දරන සහ සමාජීය වශයෙන් විශාල බලපෑමක් කළ හැකි භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා. අනුර කුමාර දිසානායක මහතා නිතරම ප්‍රකාශ කළ ‘නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන විය යුතුයි’ යන සංකල්පය ක්‍රියාවට නැංවීමේදී, ආණ්ඩුවේ පවතින ධාරිතාවය සහ මහජන අපේක්ෂාවන් අතර විශාල පරතරයක් නිර්මාණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වන්නේ.
මෙම සිදුවීමේදී වඩාත්ම කැපී පෙනෙන කරුණක් වන්නේ ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට ප්‍රධාන බලවේගයක් වූ ‘ස්ත්‍රී බලවේගයේ’ නිහඬතාවයි. අදාළ චෝදනාව බාල වයස්කාර දැරියක් සම්බන්ධයෙන් වුවද, ජාතික ජන බලවේගයේ ස්ත්‍රී ක්‍රියාකාරිනියන් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් හඬක් මතු නොකිරීම පිළිබඳව සමාජය තුළ විශාල විවේචනයක් එල්ල වී ඇති බව දේවසිරි මහතා සඳහන් කරනවා.
භික්ෂු සංස්ථාව දේශපාලනික වශයෙන් ආණ්ඩුවලට වඩා බලසම්පන්න ආයතනයක් බවත්, ඉතිහාසයේ බලවත් ආණ්ඩුවලට පවා සංඝ සංස්ථාව සමඟ ගැටීමට ගොස් පසුබෑමට සිදු වූ බවත් ඔහු පෙන්වා දෙනවා. ආණ්ඩුවට අමතරව ප්‍රධාන ධාරාවේ විපක්ෂය ද සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය මත යැපෙන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කණ්ඩායම් ආණ්ඩුව විවේචනය කළද සංඝ සංස්ථාව සමඟ ගැටීමට උපක්‍රමශීලීව මගහරින බවත් දේවසිරි මහතාගේ විග්‍රහයයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම හරහා භික්ෂූන් නීතියට ඉහළින් සිටිය යුතු නැත යන පුරවැසි කතිකාව සමාජය තුළ ප්‍රබලව මතුවීම ලාංකීය දේශපාලන පරිවර්තනයක වැදගත් සන්ධිස්ථානයක් විය හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.














