පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දන විශේෂ මෙහෙයුම්වලදී ඊයේ (24) දිනයේදී සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම යටතේ සිදුකළ වැටලීම් 996කදී සැකකරුවන් 998ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකු රැඳවුම් නියෝග මත තබාගෙන ඇත. මෙහිදී හෙරොයින් ග්‍රෑම් 442ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 53ක්, හෂිෂ් කිලෝ එකයි ග්‍රෑම් 225ක් මෙන්ම මත්පෙති, කුෂ් සහ ගංජා විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. අපරාධ මැඩලීමේ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 28,055 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, සැකපිට 679 දෙනෙකු සහ අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම දින වරෙන්තුකරුවන් 294ක් සහ විවෘත වරෙන්තුකරුවන් 149ක් ද නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත්විය. රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,542 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර බීමත් රියදුරන් 95 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ 111 දෙනෙකු ද වේ. මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














