ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයට අයත් විදේශීය ණය වාරිකයක් ගෙවීම සඳහා වෙන් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් හැකර් කණ්ඩායමක් විසින් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ සියලුම පරිගණක, සේවාදායක (Servers) සහ අනෙකුත් ඩිජිටල් උපාංග වහාම පරීක්ෂාවට ලක් කර, ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකවරයාට නියෝග කෙරිණි.
ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවීමට නියමිතව තිබූ මෙම ණය මුදල, හැකර්වරුන් විසින් විද්‍යුත් තැපැල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී ව්‍යාජ ගිණුම් අංක වෙත හරවා යවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පුළුල් පරීක්ෂණ පවත්වන අතර, මුදල් අමාත්‍යාංශය මගින් භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද මීට පෙර පියවර ගෙන තිබිණි.














