මේ වසරේ (2026) පළමු මාස 4 ඇතුළත පමණක් බංග්ලාදේශය තුළ බාලවයස්කාර දරුවන් දරුණු ලෙස අපයෝජනයට ලක්වීමේ සිදුවීම් 118ක් වාර්තා වී ඇති බව “ඩැකා ට්‍රිබියුන්” (Dhaka Tribune) පුවත් සේවය පවසයි. එරට මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය දත්ත උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අපයෝජනයට ලක්වූ දරුවන් අතුරින් 17 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි.
මෑත කාලීනව බංග්ලාදේශය තුළ සිදුවන මෙම අපරාධ රැල්ල හේතුවෙන් දරුවන්ගේ රැකවරණය පිළිබඳ බරපතළ ගැටලු මතු වී තිබේ. විශේෂයෙන්ම දිළිඳු සහ මධ්‍යම පාන්තික පවුල්වල දරුවන් මෙලෙස වැඩි වශයෙන් ගොදුරු වන බව හෙළි වී ඇත. මීට අමතරව, ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන අපයෝජන පිටුපස සිටින ප්‍රබල දේශපාලනඥයන්ගේ බලපෑම් හේතුවෙන් වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීම පොලීසිය විසින් සිතාමතාම මඟහරින බවට ද දැඩි චෝදනා එල්ල වේ.
මෑතකදී ඩැකා අගනුවරට යාබද පල්ලබි ප්‍රදේශයේදී අට හැවිරිදි දැරියකගේ හිස සුන් මළ සිරුර අසල්වැසියෙකුගේ නිවසකින් සොයාගැනීමේ සිද්ධිය මුළු රටම කැළඹූ අතර, බලධාරීන් කඩිනම් පියවර ගන්නා බව පැවසුවද මෙතෙක් ඇගේ පවුලට යුක්තිය ඉටු වී නොමැත. එමෙන්ම, ලිංගික අතවරයකට ලක්වූ 11 හැවිරිදි තවත් දැරියක් මේ වන විට මාස 7ක ගැබිණියක් බවට පත්ව සිටින බව ද එරට මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශය තුළ කාන්තා හා ළමා අපරාධවලට අදාළ නඩු විභාග අතිශය ප්‍රමාද වීම සහ ඇතැම් නඩු වාර්තා සම්පූර්ණයෙන්ම අතුරුදන් වීම හේතුවෙන් අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම අර්බුදයක් වී තිබේ.
















