වර්ධනය වන ගෝලීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ, ඉන්දියන් සාගරය සාමය, සහයෝගීතාව සහ හවුල් සමෘද්ධිය පවතින කලාපයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කර තිබේ.
රුසියාවේ මොස්කව් නුවරදී පැවැති ආරක්ෂක කටයුතු භාර ඉහළ පෙළේ නිලධාරීන්ගේ 14 වැනි ජාත්‍යන්තර සමුළුව අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දියන් සාගරයේ භූ-දේශපාලනික වැදගත්කම පිළිබඳව කරුණු දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, නාවික නිදහස සහ ජාත්‍යන්තර නීතිවලට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. කලාපීය ආතතීන් උත්සන්න වීම වැළැක්වීම සඳහා ජාතීන් අතර නිර්මාණාත්මක සංවාදයක වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, සමුද්‍රීය අනාරක්ෂිතභාවය සහ දේශගුණික විපර්යාස වැනි නූතන ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරුව සහ සාමූහික ක්‍රියාමාර්ග ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
















