ජූලි මාසයේදී ඉතාලියේ උතුරු දිග නගරයක් වන රෙජියෝ එමීලියා (Reggio Emilia) හි පැවැත්වීමට නියමිතව තිබූ අමෙරිකානු රැප් ගායකයන් වන කන්යේ වෙස්ට් (Kanye West) සහ ට්‍රැවිස් ස්කොට් (Travis Scott) සහභාගී වන ප්‍රසංග දෙකක් අවලංගු කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රදේශයේ සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු මෙන්ම විරෝධතා ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් බව රෙජියෝ එමීලියා නගරයේ ප්‍රාදේශීය පරිපාලක සැල්වටෝර් ඇන්ජියරි (Salvatore Angieri) මහතා ප්‍රකාශ කළේය.
කන්යේ වෙස්ට් (Ye ලෙසින් ද හඳුන්වන) මෑත වසරවලදී සිදුකළ යුදෙව් විරෝධී ප්‍රකාශ, ඇඩොල්ෆ් හිට්ලර් අගය කරමින් සිදුකළ ප්‍රකාශ සහ නාසි සංකේත භාවිතයෙන් අන්තර්ගතයන් නිකුත් කිරීම හේතුවෙන් මේ වසරේ යුරෝපය පුරා ඔහුගේ ප්‍රසංග රැසක් අවලංගු කිරීමට සිදුව තිබේ.
















