විනය විරෝධී සහ ශාසන විරෝධී ක්‍රියාවල නිරත වන භික්ෂූන් වහන්සේලාට එරෙහිව තරාතිරම නොබලා නිසි දඬුවම් ලබා දීම සහ මහා සංඝරත්නයේ විනය කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි, මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ සංඝාධිකරණයක් වැනි ශක්තිමත් නෛතික යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමයි. දැනට පවතින නීතිමය හිඩැස් හේතුවෙන් ඇතැම් වැරදිකරු භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම චීවරය දරාගෙන බෞද්ධ සමාජයට හානි වන අයුරින් කටයුතු කිරීමේ ඛේදනීය තත්ත්වයක් පවතින බවත්, මෙම නව යාන්ත්‍රණය හරහා එම තත්ත්වය මඟහරවා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සංශෝධන සඳහා අවශ්‍ය මූලික නිර්දේශ ඇතුළත් වාර්තාව සියලුම මහා නිකායන්හි සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් මේ වන විටත් කැඳවා ඇත. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සහ නීතිපතිවරයා අතර පැවති දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නීතිමය වශයෙන් අතිශය වැදගත් සහ පැහැදිලි එකඟතා කිහිපයකටම පැමිණීමට දෙපාර්ශ්වයට හැකි වී තිබේ. ලේඛකාධිකාරී හිමිවරුන්ගේ නිර්දේශ ලැබුණු වහාම අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය. මීට අදාළව බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබූ අතර, ඊට රජයේ එකඟතාවය හිමිවී තිබේ.
මෙම පියවර මගින් ධර්මය විකෘති කිරීම් වැළැක්වීමට සහ විනයධර සංඝ සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
















