ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා පත්වීමට දැඩි විරෝධය පළ කරමින්, ඒ පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස ‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස් – ශ්‍රී ලංකා’ (Freedom Defenders – Sri Lanka) සංවිධානය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
පසුගිය 2025 මාර්තු මස 18 වනදා පාර්ලිමේන්තුවේදී වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ සංවාදයකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, 2014 වසරේදී මෙරට පැවැති තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස ෆීජි දූපත්වලින් ක්‍රීඩකයන් තිදෙනෙකු මෙරටට ගෙන්වා ඇති බවයි. ලෝක රග්බි සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම් 50,000ක දැවැන්ත දඩයක් පැනවීමට ලෝක රග්බි සංවිධානය පියවර ගෙන ඇති අතර, එම දඩ මුදල ශ්‍රී ලංකාව විසින් වසරකට පවුම් 5,000 බැගින් අදටත් ගෙවමින් පවතින බව ද එහිදී සනාථ වී ඇත.
‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස්’ සංවිධානය පෙන්වා දෙන්නේ 2014 මැයි මස 02 වනදා පැවැති ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ (SLRFU) හදිසි කවුන්සිල රැස්වීමේ වාර්තාවලට අනුව, අදාළ විදේශීය ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ එකල රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසංග සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ බවයි. රටට සහ ක්‍රීඩාවේ කීර්තිනාමයට විශාල හානියක් සිදු කළ මෙවැනි සිදුවීමකට වගකිව යුතු පුද්ගලයකු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීම සදාචාරාත්මක නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.
ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අපරාධමය වරදක් අනාවරණය වුවහොත් ඉදිරි කටයුතු ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදෙන ලෙසත්, දැනට පත් කර ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසුරුවා හැර සුදුසු පුද්ගලයන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය පසුබිම සකසා දීමට පියවර ගන්නා ලෙසත් ‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස්’ සංවිධානය ක්‍රීඩා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.

