අනුරාධපුර, අළුත්ගම පිහිටි පුලියන්කුලම වැව වසර 22කට පසු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සහ ජාතික ජන බලවේගයේ (NPP) බටහිර ආසනයේ ප්‍රධාන සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01) ආරම්භ විය.
මේ සඳහා උතුරු මැද පළාත් සභාව රුපියල් ලක්ෂ 240ක මුදලක් වෙන් කර ඇති අතර, වැවේ රොන්මඩ ඉවත් කිරීම, වැව් බැම්ම ශක්තිමත් කිරීම, සොරොව්ව සහ වාන ප්‍රතිසංස්කරණය කිරීම මේ යටතේ සිදු කෙරේ. 1950 දී ගම්වැසියකුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද මෙම වැව හරහා දැනට වගා කටයුතු කරන්නේ ගොවි පවුල් 18ක් පමණි. ප්‍රතිසංස්කරණයෙන් පසු දැනට හේන් ගොවිතැනේ නිරත වන තවත් පවුල් 15ක් ඇතුළුව සමස්ත ගොවි පවුල් 33කට මහ කන්නයේ කුඹුරු වැඩ කිරීමට අවස්ථාව උදාවේ.
මෙම අවස්ථාවට මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රගුප්ත වන්නිනායක, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත හේරත් සහ ගොවි සංවිධානයේ සභාපති මොහොමඩ් මජ්ජුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.















