අද (03) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යාමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















