ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ඕනෑම මොහොතකදී සහාය ලබාදීමට චීන රජය සැමවිටම සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙංහොං මහතා පවසයි. කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන ආබාධ සහිත පුද්ගලයන් 50 දෙනෙකු සඳහා වටිනා රෝද පුටු පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගී වූ මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන තානාපතිවරයා, චීනය සහ ශ්‍රී ලංකාව යනු වසර ගණනාවක සිට අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ හොඳම මිතුරන් බවත්, මෙම ද්විපාර්ශ්වික සබඳතාවය හුදෙක් රජයන් දෙක අතර සහයෝගීතාවයට පමණක් සීමා නොවී දෙරටේ ජනතාව අතරද ඉතා දැඩි බැඳීමක් ලෙස ගොඩනැඟී ඇති බවත් අවධාරණය කළේය.
















