රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව අධිකරණ රාජකාරිවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, සැකකරු කුලී පදනම මත රැඳී සිටි කාමරය වැටලීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.
එහිදී සැකකාර කොස්තාපල්වරයාගේ කාමරයේ තිබූ කුඩා අල්මාරියක් තුළ සහ කොට්ටය යට සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40,710ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225ක්, මත්පෙති 300ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,950ක් සහ නීතිවිරෝධී දුම්වැටි 120ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන කොස්තාපල්වරයෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි සහ පොලිස් අධිකාරී ඉසුරු නිශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.
















