මෙවර යල කන්නය සඳහා අවශ්‍ය වන ප්‍රධාන පොහොර වර්ග තුන වන යූරියා, බණ්ඩි පොහොර (MOP) සහ මඩ පොහොර (TSP) වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත්ව පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහෙට්ටිගේ මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය කන්නයේ පොහොර භාවිතය සැළකිල්ලට ගනිමින් මෙවර යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125,000ක්, මඩ පොහොර මෙට්‍රික් ටොන් 19,000ක් සහ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,500ක් අවශ්‍ය වනු ඇති බවට පුරෝකතනය කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ සිදුකළ පොහොර තොග ගණනයේදී වෙළෙඳසැල් සතුව යූරියා මෙට්‍රික් ටොන් 6,000ක් සහ සමාගම් ගබඩාවල මෙට්‍රික් ටොන් 95,000ක් පැවති අතර, අප්‍රේල් සහ මැයි මාසවලදී තවත් මෙට්‍රික් ටොන් 25,000 බැගින් ආනයනය කර ඇත. ඒ අනුව දැනට පවතින සමස්ත යූරියා තොගය මෙට්‍රික් ටොන් 151,000ක් වන අතර කන්නයේ අවශ්‍යතාවය වන්නේ මෙට්‍රික් ටොන් 125,000ක් පමණි.
පෞද්ගලික පොහොර සමාගම් සතු පොහොරවලින් 65%ක් වී වගාවට සහ 35%ක් සෙසු භෝග සඳහා ලබාදීමට රජය අවසර දී ඇති අතර, ඒ යටතේ මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 108,500ක්, මඩ පොහොර (TSP) මෙට්‍රික් ටොන් 16,300ක් සහ බණ්ඩි පොහොර (MOP) මෙට්‍රික් ටොන් 27,600ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඉදිරි මහ කන්නය සඳහා ද ප්‍රමාණවත් පොහොර පවතින බව සහතික කළ අධ්‍යක්ෂවරයා, ඉදිරියේදී තවත් යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර දේශීය පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට ද කටයුතු කරන බව වැඩිදුරටත් කියා සිටියේය.
















