වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 12 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ගිනිබත් වූ අඟුරුවාතොට, බටගොඩ පිහිටි ‘මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල’ රැඳවුම් මධ්‍යස්ථානය රජයේ කිසිදු ආයතනයක ලියාපදිංචි කර නොමැති, හොර රහසේ පවත්වාගෙන ගිය ස්ථානයක් බව හෙළි වී තිබේ. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා සඳහන් කළේ, පුද්ගලයන් 5 දෙනෙකුට වඩා නේවාසිකව සිටින ආයතන ලියාපදිංචි කිරීම අනිවාර්ය වුවත් මෙම ස්ථානය කිසිදු නිල ආයතනයක ලියාපදිංචි වී නොමැති බවයි. අපරික්ෂාකාරී ලෙස ක්‍රියා කිරීම මඟින් මරණය සිදු කිරීමේ චෝදනාව යටතේ මධ්‍යස්ථානයේ හිමිකරු වන 38 හැවිරිදි ඉසුරු ධනුෂ්ක පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
විමර්ශනවලට අනුව, ගින්න හටගන්නා අවස්ථාවේදී ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරවල් සහ ජනේල පිටතින් අගුළු දමා තිබූ අතර, එහි සිටි නේවාසිකයන් 71 දෙනාගෙන් බහුතරයක් බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ය. හදිසි ගිනි ගැනීමක් පාලනය කිරීමට අවශ්‍ය කිසිදු ආරක්ෂක උපකරණයක් එහි තිබී නැති අතර, ඇතැම් නේවාසිකයන් දම්වැල්වලින් බැඳ දමා තිබූ බව ද ප්‍රදේශවාසීහු පවසති. ගින්නෙන් ස්ථානයේදීම 10 දෙනෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු රෝහලේදී මියගොස් තිබේ. තවත් 6 දෙනෙකු බරපතළ පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබයි. මෙම මධ්‍යස්ථානය සඳහා ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 75,000ක් සහ මාසිකව රුපියල් 35,000 බැගින් ඥාතීන්ගෙන් අය කර ඇති අතර, ඔවුන් Facebook සමාජ මාධ්‍ය හරහා වීඩියෝ දමමින් ආධාර මුදල් සෙවීමේ ජාවාරමක නිරතව ඇති බවට ද ඥාතීහු චෝදනා කරති. බේරාගත් සෙසු නේවාසිකයන් තාවකාලිකව බටගොඩ පාසලේ සහ රජයේ ලියාපදිංචි නිවාස වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පොලිසිය සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන් ඉදිරි විමර්ශන පවත්වයි.
















