ආසියා-පැසිෆික් කලාපයේ පැරණිතම වෛද්‍ය පුස්තකාලය වන ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලයට වසර 182ක් පිරීම නිමිත්තෙන් විශේෂ විද්වත් සමුළුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ජාතික විද්‍යා පදනම එක්ව සංවිධානය කළ මෙම සමුළුවට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ, ඉතිහාස හා පුරාවිද්‍යා ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී මෙරට වෛද්‍ය උරුමය, දේශීය චිකිත්සාව, වෛද්‍ය තාක්ෂණයන් සහ වෛද්‍ය විද්‍යාවේ අනාගත ප්‍රගමනය ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ අතර, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක, මහාචාර්ය නෙවිල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, මහාචාර්ය සරෝජ් ජයසිංහ, ආචාර්ය ගාමිණී විජේසූරිය සහ මහාචාර්ය සේනක පිලපිටිය ඇතුළු විද්වතුන් රැසක් විසින් වෛද්‍ය ඉතිහාසය හා එහි සංරක්ෂණය පිළිබඳව විශේෂ දේශන පවත්වනු ලැබූහ. ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලය 183 වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී පැවැත්වූ මෙම සමුළුව, මෙරට වෛද්‍ය ඉතිහාසය ලේඛනගත කරමින් ඉදිරි පරම්පරාව උදෙසා තිරසර ජාතික ප්‍රයත්නයක් ආරම්භ කිරීම සනිටුහන් කරන්නක් බව විද්වත්හු මෙහිදී පෙන්වා දුන්හ.
1844 ජූනි 01 වැනිදා “Colonial Medical Library” ලෙස කොළඹදී ආරම්භ කරන ලද මෙම පුස්තකාලය තුළ 16 වැනි සියවසට අයත් දුර්ලභ වෛද්‍ය ග්‍රන්ථ රැසක් අදටත් සුරක්ෂිතව පවතින අතර, එය වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ පර්යේෂකයන්ගේ මහඟු ඥාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.
















