ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අතර විශේෂ හමුවක් බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුව සිදුවූයේ ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා මෙරට සිය තෙවසරක සේවා කාලය අවසන් කර නික්ම යාමට පෙර සමුගැනීමේ නිල හමුවක් වශයෙනි. එහිදී ධුරයෙන් නික්ම යන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ඉදිරි කටයුතු සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සිය සුබපැතුම් එක්කළේය.
2023 වසරේ අගෝස්තු මාසයේදී තමා ශ්‍රී ලංකාවේ රාජකාරි භාරගැනීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සමඟ ආරම්භ කළ සහ එතැන් පටන් අඛණ්ඩව පවත්වාගෙන ගිය මිත්‍රශීලී සබඳතාව ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කළේය. පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ගත් පියවර මෙන්ම, මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයේදී ශ්‍රී ලාංකේය ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දියාව සහ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පෞද්ගලිකව දැක්වූ සුවිශේෂී දායකත්වය ද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ඇගයීමට ලක්විය.
















