බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 ත් අතර තද සුළං ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට හමන පැ.කි.මී. 30-40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
















