ජූනි 11 වැනිදා ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් අමුතුම ආකාරයේ තාක්ෂණික දෝෂයක් වාර්තා වේ. ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන ෆිෆා (FIFA) ආයතනයේ නිල වෙබ් අඩවියේ ඇති වූ මෙම දෝෂය නිසා ප්‍රේක්ෂකයින් 60 දෙනෙකුට පමණ ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවසන් පියවරේදී (Checkout process) ගෙවීම් පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මෙම ප්‍රවේශ පත්‍ර ඇමරිකානු ඩොලර් බින්දුවක ($0 USD) අගයකින් යුතුව අදාළ ප්‍රේක්ෂකයින් වෙත නිකුත් වී ඇති බව FIFA ආයතනය X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් නිල වශයෙන් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වන පරිදි එම නොමිලේ නිකුත් වූ ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
FIFA ආයතනය සඳහන් කරන්නේ අදාළ ප්‍රවේශ පත්‍ර දැනට එම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තාවකාලිකව වෙන් කර (Reserved) තබා ඇති බවයි. ඒ අනුව ඉදිරි දින 7ක් ඇතුළත ඊට අදාළ නියමිත සම්පූර්ණ මුදල ගෙවා ඒවා නිල වශයෙන් ලබා ගන්නා ලෙස අදාළ පිරිසට දැනුම් දී ඇත. එම දින 7ක කාලය තුළ මුදල් නොගෙවන්නේ නම්, එම වෙන් කිරීම් ද සම්පූර්ණයෙන්ම අවලංගු කර ප්‍රවේශ පත්‍ර නැවත පද්ධතියට එක් කරන බව වාර්තා වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතීම සහ ටෙන්ඩර් ක්‍රියාවලීන්හි පවතින විනිවිදභාවයේ ගැටලු පිළිබඳව දැනටමත් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක, FIFA පද්ධතියේ සිදුවූ මෙම නවතම තාක්ෂණික දෝෂය ක්‍රීඩා ලෝකය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. සිදු වූ මෙම අනපේක්ෂිත වැරදීම සහ ඉන් පාරිභෝගිකයින්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව FIFA ආයතනය සිය කණගාටුව ප්‍රකාශ කර සිටියි.
















