රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය සහ එම ඖෂධ බාහිරින් මිලදී ගැනීමේදී දැරිය යුතු පිරිවැය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පිළිකා රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් ද දැඩි අසරණභාවයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ, දිගු කලක සිට පවතින මෙම ඖෂධ හිඟය හේතුවෙන් වෙළඳපොළ තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති, ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ඉතා අධික මිල ගණන්වලට විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක් ද බිහිව ඇති බවයි.
ඇතැම් පිළිකා රෝගීන් සඳහා බාහිර ඔසුසල්වලින් මාසිකව ඖෂධ මිලදී ගැනීමට පමණක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැය වන බවත්, වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ රෝගීන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට මෙම අධික පිරිවැය කිසිසේත්ම දරාගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. පොදුවේ වෙළඳපොලේ පවතින සියලුම ඖෂධවල මිල ඉහළ යාමේ ප්‍රවණතාව මේ වන විට පිළිකා ඖෂධ කෙරෙහි ද දැඩිව බලපා තිබේ.
පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙලෙස දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් විශේෂ සහනදායී සහනාධාර වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















