චිකාගෝ නුවර උපන්, ලොව ප්‍රථම ඇමෙරිකානු ජාතික පාප් වහන්සේ වන 14 වන ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV), ඉදිරියේදී පැවැත්වෙන 2026 ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේදී තම මව් රට වන ඇමෙරිකානු පාපන්දු කණ්ඩායමට සහයෝගය දැක්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
රෝමයේ සිට මැඩ්රිඩ් බලා ගමන් ගත් ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව තහවුරු කළහ. ජුනි 11 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන්, ක්‍රීඩාව යනු සංස්කෘතීන් අතර සහජීවනය සහ සාමය ගොඩනැගීමේ මෙවලමක් විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
ලියෝ පාප් වහන්සේගේ ක්‍රීඩා ලැදියාව පිළිබඳ කරුණු කිහිපයක් පවතී. ක්‍රීඩාව යනු සංස්කෘතීන් සහ ජාතීන් අතර සංවාදයට සහ සාමයට මග පාදන මෙවලමක් බව උන්වහන්සේගේ ජූනි මාසයේ යාච්ඤා අභිප්‍රාය වී තිබේ. උන්වහන්සේ ටෙනිස් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන අතර, ඇමෙරිකාවේ ‘චිකාගෝ වයිට් සොක්ස්’ (Chicago White Sox) බේස්බෝල් කණ්ඩායමේ රසිකයෙකු ලෙසද හැඳින්වේ. මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී ඇමෙරිකාව සහ පේරු රාජ්‍යය තරඟ කරන්නේ නම් කාට සහාය දක්වන්නේ දැයි විමසූ විට, උන්වහන්සේ පේරු රාජ්‍යයට සහාය දක්වන බව ප්‍රකාශ කළේ තමන් එහි මිෂනාරිවරයෙකු ලෙස සේවය කර ඇති නිසාය.
මෙවර ලෝක කුසලානය ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් තුනෙහි සම-සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා පාප් වහන්සේගේ විශේෂ ආශිර්වාදය හිමිව ඇත.
















