2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව, මෙම ජනප්‍රිය ක්‍රීඩාංගණ චාරිත්‍රයට නම ලබාදුන් මෙක්සිකෝ රටේදී ලොව විශාලතම ‘මෙක්සිකන් වේව්’ (Mexican Wave) නිර්මාණය කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ උත්සාහයක් පසුගිය සෙනසුරාදා මෙක්සිකෝ නගරයේදී සිදු විය. මෙක්සිකෝවේ ප්‍රධාන මහා මාර්ගයක් වන රෙෆෝර්මා මාවත (Reforma Avenue) ඔස්සේ දහස් ගණනක් ජනතාව එක්ව මෙම උත්සවයට සහභාගී වූහ.
මෙම සුවිශේෂී උත්සවය පවත්වනු ලැබුවේ 1986 වසරේ මෙක්සිකෝවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ලොව ප්‍රථම වරට ‘මෙක්සිකන් වේව්’ දර්ශනය වී වසර 40ක් පිරීම නිමිත්තෙනි. මෙම ජනප්‍රිය ක්‍රීඩා චාරිත්‍රයේ සැබෑ ආරම්භය පිළිබඳව විවිධ මතවාද පවතින අතර, ඇමරිකානු ප්‍රේක්ෂකයින් ද මීට පෙර කාලවලදී මෙවැනි දෑ ක්‍රියාත්මක කළ බවට තර්ක කරනු ලබයි. කෙසේ වෙතත්, පාපන්දු ක්‍රීඩාව සමඟ දැඩි ලෙස බද්ධ වූ මෙම සංස්කෘතික අංගය මෙක්සිකෝවේදී මෙලෙස උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.
















