බහරේනයේ පැවැති ‘අඹ’ උත්සව මාලාවේදී (Bahrain’s vibrant Mango festivals) ශ්‍රී ලංකාවේ අඹ සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් සහ අවධානයක් හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය මැයි සහ ජුනි මාසවල එරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසල් ජාල වන ලුලු හයිපර්මාර්කට් (Lulu Hypermarket) සහ අල් ජසීරා (Al Jazira) විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනවලදී ශ්‍රී ලාංකේය අඹ වර්ග මෙලෙස ප්‍රමුඛව ප්‍රදර්ශනය කෙරිණි.
මෙහිදී ලුලු හයිපර්මාර්කට් ආයතනය මඟින් ‘Mango Mania’ නමින් අඹ උළෙලක් පැවැත්වූ අතර, පසුගිය 4 වැනිදා අල් ජසීරා සුපිරි වෙළෙඳසලේදී ‘The Great Mango Football Fiesta’ උළෙල පවත්වා තිබේ. එහිදී ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල අඹ වර්ග සමඟ ශ්‍රී ලංකාවේ අඹ ද ප්‍රදර්ශනයට තබා තිබුණි.
මෙම උත්සවයේ විශේෂ අංගයක් ලෙස ශ්‍රී ලාංකේය අඹ උපයෝගී කරගනිමින් සජීවී සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වන ‘ලංකා තේ’ (Ceylon Tea) ප්‍රවර්ධනය සඳහා ද එහි විශේෂ කුටි වෙන්කර තිබීම සුවිශේෂී කරුණකි.
බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ පියවරක් ලෙස මෙය සංවිධානය කර ඇත. ශ්‍රී ලංකාවේ නැවුම් අඹ සහ අනෙකුත් පළතුරු වර්ග බහරේන් වෙළෙඳපොළට හඳුන්වා දීමට එරට ප්‍රධාන සිල්ලර වෙළෙන්දන් දිරිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
















