ඩෙංගු මදුරු උවදුර පාලනය කිරීම සඳහා මහජනතාවගේ සෘජු දායකත්වය අත්‍යවශ්‍ය බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ඊයේ (08) කොළඹ මහ නගර සභා පරිශ්‍රයෙන් ආරම්භ කරමින් ඇය මේ බව කියා සිටියාය. මෙම විශේෂ මෙහෙයුම ජුනි 08, 09 සහ 10 යන තෙදින පුරා දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් මුලික කරගනිමින් ක්‍රියාත්මකය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 2,000කට ආසන්න පිරිසක් කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වන බවයි. 2025 වසරට සාපේක්ෂව මෙවර රෝගීන් 10,000ක පමණ වර්ධනයක් පවතී. වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් (කොළඹ 22%, ගම්පහ 17%, කළුතර 6%) වාර්තා වන අතර ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල ද රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබේ. කීට සමීක්ෂණවලට අනුව වැඩිපුරම මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික සිද්ධස්ථානයි.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය අංශවල සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ නිවාස, පාසල් 150ක් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ඉදිකිරීම් වැඩබිම් දැඩි පරීක්ෂාවට ලක් කෙරේ. මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන අයට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීම සිදු කරන අතර, අධි අවදානම් කලාපවල ධූමායන කටයුතු ද සිදු කෙරේ. මෙම තෙදින වැඩසටහනේ දෛනික ප්‍රගති සමාලෝචන වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
















