හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇගේ සහෝදරිය සහ මස්සිනා විසින් රුපියල් ලක්ෂ 18කට හෝකන්දර ප්‍රදේශයෙන් මිලදී ගත් ඉඩමක ඔප්පු ලියන අවස්ථාවට ඇය සහභාගි නොවූ බව නීතිඥ හා නොතාරිස් ජනක එස්. ඔලබොඩුව මහතා ඊයේ (08දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලය තුළදී තම නීත්‍යානුකූල වැටුපෙන් සහ උපයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව මත ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම සාක්ෂි ලබාදීම සිදු විය.
මෙහිදී සාක්ෂි දුන් නොතාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හෝකන්දර, අලුත්ගේවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමේ පැවරුම්ලාභිනිය ලෙස රන්දුනු මුදියන්සේලාගේ ෂෙහර්ෂා උදයන්ති රණසිංහ (විමල් වීරවංශ මහතාගේ බිරිඳ) යන අය නම් කර තිබූ බවයි. විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේ විකුණුම්කරු විදේශගතව සිටි නිසා පැමිණ නොසිටි අතර, පැවරුම්ලාභිනිය නොපැමිණි හේතුව තමන් නොදන්නා බවයි. ඉඩම මිලදී ගන්නේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වෙනුවෙන් බව අලෙවි නියෝජිතයා තමන්ට දන්වා තිබූ බවත්, ඊට සාක්ෂිකරුවකු ලෙස ඇගේ සහෝදරියගේ සැමියා වන බදුගේ ප්‍රදීප් චමින්ද යන අය අත්සන් තැබූ බවත් හෙතෙම පැවසීය.
නඩු විභාගයේදී රක්ෂණ සමාගමක සහකාර කළමනාකරුවකු වන සමන් වසන්ත යන අය ද සාක්ෂි දුන් අතර, විත්තිකාර විමල් වීරවංශ මහතාගේ මෝටර් රථයේ රක්ෂණ වාරිකය වෙනුවෙන් 2012 වසරේදී රුපියල් 317,792.57ක මුදලක් චෙක්පතක් මඟින් තම සමාගමට ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, එම චෙක්පත නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර ඇති බැවින් එය නිකුත් කළේ කවුරුන්දැයි නිශ්චිතවම කිව නොහැකි බව විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේය.
නඩුව යළි ලබන 25 වැනිදා කැඳවීමට නියමිතය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ යන මහත්ම මහත්මීන් පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පෙනී සිටියේය.
















