‘පොහොසත් රටක අබිමන ඇය වේ, දැයක පෙර මඟ’ යන තේමාව පෙරදැරි කරගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ දිරිය කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක් පෙරේදා (07) අම්පාර දිසාපති කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අම්පාර දිස්ත්‍රික්කය පුරා විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් දේශීය ආර්ථිකයට සක්‍රිය දායකත්වයක් සපයන කාන්තා ව්‍යවසායිකාවන් රැසක් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සම්බන්ධ විය. මීට අමතරව දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේරත්න මහතා සහ මුතු රත්වත්ත මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී කාන්තාවන් රැසක් ද මෙම ඇගයීමේ උත්සවයට එක්ව සිටියහ.
















