පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිසකට වැටුප් ගෙවන ලද්දේ හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් බවත්, ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අනුදැනුම හා අවසරය මත බවත් හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.
“ඔහු හමුදා නිලධාරියෙක් නෙවෙයි, ගෝඨාභයගේ වහලෙක්”
සුරේෂ් සලේ නමැති නිලධාරියා වෘත්තීය හමුදා නිලධාරියකුට වඩා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වහලකු’ ලෙස කටයුතු කළ පුද්ගලයකු බවට ෆොන්සේකා මහතා මෙහිදී දැඩි ලෙස චෝදනා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අනුදැනුමකින් තොරව සලේ කිසිදු තීරණයක් නොගත් බවත්, ඔහු සැමවිටම කටයුතු කළේ රාජපක්ෂ පවුලේ සමීප පුරෝහිතයකු ලෙස බවත් ඔහු කියා සිටියේය.
බුද්ධි අංශවලින් ඉවත් කර සිටි අයෙක්
තමා හමුදාපතිවරයාව සිටි සමයේදී සුරේෂ් සලේගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුව බුද්ධි අංශ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ද සරත් ෆොන්සේකා මහතා මෙහිදී අනාවරණය කළේය. කෙසේ වෙතත්, පසුව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුව නැවතත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඍජුවම අනුයුක්ත කරගත් බව ද හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
















