පුත්තලම, වනාතවිල්ලුව කල්අඩිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් (හලාවත වැවිලි සමාගමේ) කජු වත්තකට අනවසරයෙන් ඇතුළු වූ ධීවරයන් පිරිසකට එහි මුරකරුවන් තැබූ වෙඩි ප්‍රහාරයකින් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේරක්කුලිය ප්‍රදේශයේ පදිංචි, 36 හැවිරිදි ප්‍රදීප් සුසන්ත නමැති කලපු ධීවරයෙකි.
කලපුව සැරවීම නිසා ජීවත් වීමට මඟක් සෙවූ ධීවරයෝ
මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කලපු යාමට නොහැකි වීම සහ මසුන් හිඟකම නිසා, තම දරු පවුල් ජීවත් කරවීම සඳහා මොවුන් දස දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ලෙස අදාළ වත්තට රහසේ කජු ඇහිලීමට ගොස් තිබේ.
“අල්ලාගෙන ගොස් වෙඩි තබා කැලෑවට දැම්මා” – ඥාතීන්ගෙන් බරපතළ චෝදනා
මියගිය අයගේ පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ, කජු අහුලමින් සිටියදී වත්තේ මුරකරුවන් පැමිණ තම සහෝදරයා ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගෙන මුර කුටිය වෙත රැගෙන ගිය බවයි. පසුව ඔහුට වෙඩි තබා ඝාතනය කර, සිරුර වසන් කිරීම සඳහා වත්තේ කැලෑබද ප්‍රදේශයකට කැබ් රථයකින් රැගෙන ගොස් දමා ඇති බවට ඔවුහු පවසති.
බිරියගේ සහ සහෝදරයාගේ ශෝකාලාපය:
“එයා හොරෙක් නොවෙයි. දුවගේ ඉස්කෝලේ වියදම් පියවගන්නයි කජු අහුලන්න ගියේ. වෙඩි තියන්නේ නැතුව පොලීසියට භාර දුන්නා නම් ඉවරයිනේ…” යැයි මියගිය ප්‍රදීප්ගේ බිරිය වන 32 හැවිරිදි අනුෂා කුමාරි හඬා වැලපෙමින් පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු (05) මේ වන විට වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
















