එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේපී සතුව තිබී ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් පසු අතුරුදන් වූ බව කියන රත්රන් තොගයක් සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් කඩිනම් කර තිබේ. මෙම විමර්ශන සඳහා ප්‍රකාශ ලබාගැනීමට ඉදිරියේදී එවකට ආරක්ෂක අංශවල සේවය කළ ප්‍රධානීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද කැඳවීමට නියමිතය.
විමර්ශන අංශ ආරංචි මාර්ගවලට අනුව, මේ වන විටත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී ඒ මහතා පවසා ඇත්තේ අදාළ රත්රන් සොයාගන්නා කාල වකවානුවේදී තමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ බැවින්, මේ පිළිබඳ කිසිදු තොරතුරක් තමා නොදන්නා බවයි.
කේපී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සතුව තිබූ මෙම විශාල රත්රන් තොගය රජයේ භාරයේ පවතිද්දී අතුරුදන් වූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර, ඊට අදාළ නීතිමය පියවර ගැනීම සඳහා කොමිසම මේ වන විට සාක්ෂි කැඳවීම් පුළුල් කර තිබේ.
















