ඉන්දියාවේ දහස් ගණනක් වූ ශ්‍රමිකයින් තම දෛනික කටයුතු වීඩියෝ ගත කරමින් කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන රොබෝවරුන් පුහුණු කිරීමේ කටයුතුවල නිරතව සිටිති. මෙහි අරමුණ වන්නේ මිනිස් හැසිරීම් අනුකරණය කිරීමට රොබෝවරුන්ට ඉගැන්වීමයි.
චෙන්නායිහි පදිංචි 25 හැවිරිදි නාගිරෙඩ්ඩි ශ්‍රීරාමචන්ද්‍රා නම් ගෘහණියක් පැයකට රුපියල් 250ක මුදලක් ලබාගනිමින්, අඹ කැපීම වැනි තම ගෘහස්ථ කටයුතු හිසෙහි සවිකරගත් ස්මාර්ට් ජංගම දුරකථනයකින් රූගත කරයි. ඇය මෙන්ම තවත් දහස් ගණනක් ඉන්දියානුවන් මෙම කාර්යයේ නිරත වී සිටින අතර, ගෝලීය තාක්ෂණික සමාගම් මෙම දත්ත භාවිතා කරමින් රොබෝවරුන්ට සැබෑ ලෝකයේ මිනිසුන් මෙන් හැසිරීමට උගන්වයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙවැනි දත්ත (Egocentric data) හරහා රොබෝවරුන්ට මිනිස් චලනයන් පිටපත් කිරීමට හැකි වන බවයි. 2050 වසර වන විට කාර්මික සහ වාණිජ අරමුණු සඳහා භාවිත කෙරෙන රොබෝවරුන් බිලියනයකට වඩා ලොව පුරා භාවිත වනු ඇතැයි ගණන් බලා තිබේ. ඉන්දියාව මේ වන විට AI දත්ත සැකසීමේ සහ ඇනෝටේෂන් කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වී ඇත.
කෙසේ වෙතත්, මෙම තාක්ෂණික දියුණුව රැකියා අහිමිවීමේ අවදානමක් ද මතු කර ඇත. ඉන්දියාවේ 490ක් මිලියනක් වූ අවිධිමත් අංශයේ සේවකයින්ට මෙම ස්වයංක්‍රීයකරණය (Automation) නිසා සිදුවිය හැකි බලපෑම් පිළිබඳව එතරම් අවධානයක් යොමු වී නොමැති බව රජයේ චින්තන මණ්ඩලයක් වන නීති ආයෝග් (NITI Aayog) පෙන්වා දෙයි. බෙන්ගලූරුහි මල් මාලා සකසන 55 හැවිරිදි පොන්නි නම් කාන්තාව පවසන්නේ, තමා වැනි රැකියාවල නිරත මීළඟ පරම්පරාවට මෙම තාක්ෂණය නිසා විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
















