ශ්‍රී ලංකාව තුළ මෑතකදී හිස ඔසවමින් පැවති මෙනින්ජයිටීස් (Meningitis) රෝග ව්‍යාප්තිය මේ වන විට බොහෝ දුරට පාලනය කිරීමට සමත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා සඳහන් කළේ, දිවයින පුරා මේ වන විට මෙනින්ජයිටීස් රෝගය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් 280 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මෙම රෝගය මෙරටින් මුල් වරට වාර්තා වූ දෙනියාය ප්‍රදේශයෙන් මේ වන විට කිසිදු නව රෝගියෙකු වාර්තා නොවන බව ද ඔහු තහවුරු කළේය.
මීට අමතරව රෝගීන් බහුලව හඳුනාගත් රිකිල්ලගස්කඩ සහ මහනුවර යන ප්‍රදේශවල ද රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ඇති බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මෙනින්ජයිටීස් රෝගී තත්ත්වයන් වාර්තා වූ සෙසු ප්‍රදේශ වන දියතලාව සහ වැලිමඩ යන ප්‍රදේශවල ද රෝග පාලන වැඩසටහන් සහ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ කණ්ඩායම්වල නිරන්තර අධීක්ෂණය යටතේ සිදු කෙරෙමින් පවතී.
















