ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ඉහළම තලයකට ඔසවා තැබීමේ අරමුණින්, 2026 සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත “Colombo Marathon” ජාත්‍යන්තර තරගාවලිය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings) සමාගම අත්වැල් බැඳගෙන තිබේ. මෙම සුවිශේෂී සහයෝගීතාවය පිළිබඳව පසුගිය සිකුරාදා (ජූනි 12) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදී අනාවරණය විය. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර මැරතන් ඉසව්වක් සෘජුවම සංවිධානය කිරීමට දායක වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාව ‘ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ගමනාන්තයක්’ (International Sports Tourism Destination) ලෙස ප්‍රවර්ධනය කිරීමට විශාල පිටුවහලක් ලැබෙන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම ජාත්‍යන්තර මැරතන් තරගාවලිය විවිධ වයස් කාණ්ඩ සහ දක්ෂතා නියෝජනය වන පරිදි Full Marathon (කි.මී. 42), Half Marathon (කි.මී. 21), 10 KM Run, 5 KM Fun Run (විනෝදාත්මක ධාවකයින් සඳහා) සහ Kids Marathon (ළමුන් සඳහා කි.මී. 2) යන තරග අංශ 5ක් යටතේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ විනිශ්චය සහ තාක්ෂණික කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සුදුසුකම් ලත් දක්ෂ විනිසුරුවන් 100 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් කටයුතුවලට දායක වීමට නියමිතය.මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය පෞද්ගලික ලේකම් දර්ශන වරාගොඩ, තාක්ෂණික නිලධාරී එච්.ඩී.ජේ. රත්නසූරිය, ජෝන් කීල්ස් ලෙෂර් (John Keells Leisure) හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ආයතනික ප්‍රධානී දිලීප් මුදදෙණිය, සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් (Cinnamon Life City of Dreams) හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මහා කළමනාකාර කමල් මුණසිංහ, ප්‍රොකැම් ඉන්ටර්නැෂනල් (Procam International) හි කළමනාකාර අධ්‍යක්ෂ අනිල් සිං සහ එහි සම-කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සිං යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















