කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් ගෙවුම් ක්‍රමය (ETC – Electronic Toll Collection) භාවිත කරන රියැදුරන් සඳහා ගමන් වාරයකදී නියමිත ගාස්තුවෙන් 10%ක වට්ටමක් ලබා දීමට මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම පහසුකම භාවිත කරන්නන් සඳහා අධිවේගී මාර්ගයට ඇතුළු වීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම මංතීරු වෙන් කර ඇති අතර, එමගින් ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව ලැබේ. දැනට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇළ සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවලදී ETC ක්‍රමය ඔස්සේ ගෙවීම් කළ හැකි වේ. ඉදිරියේදී කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී ද මෙම පහසුකම ලබා දීමට කටයුතු යොදා ඇත.
ETC පහසුකම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය රියැදුරන්ට www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් ලියාපදිංචි විය හැකි අතර, ලියාපදිංචියෙන් පසු ඕනෑම ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයකින් RFID Tag එක ලබා ගත හැකිය. අනතුරුව එම වෙබ් අඩවිය හෝ Govpay හරහා තමන්ගේ බැංකු කාඩ්පත් භාවිතයෙන් ගිණුම නැවත පුරවා (Top-up) ගැනීමෙන් පසු කිසිදු බාධාවකින් තොරව ස්වයංක්‍රීයව ගාස්තු අය කර ගනිමින් අධිවේගී මාර්ගයෙන් පිටවීමේ අවස්ථාව හිමි වේ.
ETC මංතීරු භාවිත කිරීමේදී රියැදුරන් ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් ඇතුළු වීමේ සහ පිටවීමේ ස්ථානවලදී වාහනය පැයට කිලෝමීටර් 15ක වේගයකින් ධාවනය කිරීමටත්, ඉදිරියෙන් ඇති වාහනය සමඟ මීටර් 20ක පරතරයක් පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටියි.
















