තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සහ නිත්‍ය නියෝජිත විජයන්ති එදිරිසිංහ වෙත බෞද්ධ සබඳතා සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින් ‘විශිෂ්ට ධම්ම සම්මානය’ (Distinguished Dhamma Award) පිරිනමා තිබේ. මෙම සුවිශේෂී සම්මාන ප්‍රදානෝත්සවය තායිලන්තයේ මහාචූලාලංකෝර්නරාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේදී (Mahachulalongkornrajavidyalaya University) උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත. මෙම උත්සවයට සමගාමීව 32 වන විදේශීය ධර්මදූත භික්ෂු පුහුණු වැඩසටහන, 3 වන ධර්මදූත සහතික පත්‍ර වැඩසටහන සහ 2 වන විපස්සනා භාවනා ජාත්‍යන්තර සහතික පත්‍ර වැඩසටහන සාර්ථකව නිමකළ පිරිස වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු විය.
තායිලන්තයේ සංඝරාජ හිමියන් වෙනුවෙන්, තායිලන්ත උත්තරීතර සංඝ සභාවේ සාමාජික සහ නැඟෙනහිර කලාපයේ ප්‍රධාන නායක හිමියන් වන සොම්දෙජ් ප්‍රා පුත්තාචාර්න් (Somdej Phra Phutthacharn) හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා තිබේ. ජාත්‍යන්තර මට්ටමින් බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සහ බෞද්ධ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් කළ විශිෂ්ටයන් මෙහිදී ඇගයීමට ලක්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පුහුණුව ලැබූ ධර්මදූත භික්ෂුන් වහන්සේලා වෙත සිවුරු සහ පිරිකර පූජා කිරීම, උපාධිධාරීන්ට සහතික පත්‍ර පිරිනැමීම සහ ආශීර්වාද ගාථා ගායනය ආදී සාම්ප්‍රදායික ආගමික වතාවත්වලින් මෙම උත්සවය සමන්විත විය.
ශ්‍රී ලංකා තානාපතිනිය වෙත පිරිනැමුණු මෙම ගෞරව සම්මානය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරා පවතින සබඳතාව කියාපාන්නකි. දෙරට අතර පවතින ථෙරවාදී බෞද්ධ උරුමය, ආගමික හුවමාරු සහ සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට මෙම ඇගයීම ඉවහල් වේ. බැංකොක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය නියෝජිත කණ්ඩායම මෙම ඓතිහාසික ආගමික සබඳතා මෙන්ම දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















