යුද්ධය පැවති සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමා ඇතැයි පැවසෙන ආයුධ සහ රන් තොගයක් සෙවීමේ අරමුණින් සම්මන්තුරේ පොලිස් බලප්‍රදේශයට අයත් තොයියුම්වට්ටෙයි පහළ කණ්ඩායම් ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමක විශේෂ කැණීමක් සිදු කරනු ලැබීය. පොලිස් බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව, අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් අනතුරුව මෙම විශේෂ පරික්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
බැකෝ යන්ත්‍රයක් ද යොදාගනිමින් පැය කිහිපයක් පුරා සිදුකළ මෙම කැණීම් කටයුතුවලදී කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හෝ සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වූ බැවින් මෙහෙයුම එදින සවස් වන විට අවසන් කිරීමට බලධාරීන් පියවර ගත්තේය. මෙම ප්‍රදේශය අතීතයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රවාහන හා උපායමාර්ගික ක්‍රියාකාරකම් බහුලව පැවති කලාපයක් ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබිණි.
මෙම විශේෂ කැණීම් කටයුතු සම්මන්තුරේ මහේස්ත්‍රාත් නූර්දීන් මුහම්මද් සර්ජුන්, අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරි ආරච්චි, කල්මුණේ සහකාර පොලිස් අධිකාරී ඉබ්නු අසාර් සහ සම්මන්තුරේ පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.ඒ.එන්. නිශාන්ත ප්‍රදීප් කුමාර යන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු විය. මීට අමතරව සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් එස්.එල්.එම්. හනීෆා, ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එල්.එම්. මාහීර්, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
















