ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම් සහ බලපෑම් නොතකා ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා – ඉරාන අවබෝධතා ගිවිසුමට ඇතුළත් කරුණු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, එම සාම එකඟතාවට ලෙබනනය ද ඇතුළත් වන බව ඉරානය සහ සාම ගිවිසුමේ මැදිහත් පාර්ශ්වය වන පාකිස්තානය තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ මෙම නොනැවතී සිදුකරන මිලිටරි ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් ඇමෙරිකා – ඉරාන සාම ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ස්විට්සර්ලන්තයේ පැවැති ‘G7’ රාජ්‍ය නායක සමුළුවේදී ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ලෙබනන් ප්‍රහාර වහාම නතර කරන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ඉල්ලීම ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම ඉරානයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ඇමෙරිකාව සමඟ අවබෝධතා ගිවිසුමට එළැඹීමෙන් පසුව ඊශ්‍රායල හමුදාව 84 වතාවක් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් අඛණ්ඩව සිදුවන්නේ නම් ඊට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකාවේ ඉල්ලීම් සහ ඉරානයේ සෘජු අනතුරු ඇඟවීම් මධ්‍යයේ වුවද ඊශ්‍රායල හමුදාව ඉකුත් දිනවලදී දකුණු ලෙබනනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති පරිදි එම ප්‍රහාරවලින් පුද්ගලයන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම, ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා නබාටියා අල් ෆව්කා නගරයට සහ ක්ෆාර් ටෙබ්නිට් ප්‍රදේශවලට දරුණු ලෙස බෝම්බ හෙළා ඇති බව ලෙබනනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය සනාථ කරයි. මෙම නවතම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා හෝ එරට ආරක්ෂක අංශ මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද, තමන් ඉලක්ක කරන්නේ ඉරානයේ සහාය ලබන හෙස්බුල්ලා (Hezbollah) සන්නද්ධ සංවිධානය පමණක් බව ඊශ්‍රායලය මීට පෙර පවසා තිබිණි.
















