ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මඟින් ප්‍රදේශයේ පිරිසුදු වටපිටාවක් සහ පරිසර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ‘2026 කසළ පොළ’ නමින් විශේෂ කසළ කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති සනත් ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ඉකුත් 17 වැනිදා කහදුව ප්‍රජාශාලා පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. මෙම විශේෂ ව්‍යාපෘතිය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඒරමුල්ල, පිණිකහන, කහදුව උතුර සහ කහදුව දකුණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරියේදී ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ග්‍රාම නිලධාරි වසම් 51 ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන ප්‍රදේශවාසීන්ගේ නිවෙස්වල සහ ව්‍යාපාරික ස්ථානවල දැනට එකතුවී පවතින අබලි යකඩ තහඩු, ටින් සහ බෙලෙක්ක, වීදුරු බෝතල් සහ වීදුරු කටු, ප්ලාස්ටික් භාණ්ඩ, ප්ලාස්ටික් බෝතල්, පැරණි පොත් පත්තර, පොල්කටු මෙන්ම බැටරි ඇතුළු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E-waste) පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට ලැබෙන කදිම අවස්ථාවකි. මෙම නොදිරන අපද්‍රව්‍ය ප්‍රාදේශීය සභා එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ලබාදීමෙන් ජනතාවට තම පරිසරය පිරිසුදු කරගැනීමට අමතරව, එම ද්‍රව්‍යවල බර සහ වටිනාකම අනුව ක්ෂණිකව මුදලක් ද ලබාගත හැක.
කහදුව පරම විසුද්ධාරාම විහාරාධිපති, ප්‍රධාන සංඝනායක කහදුවේ කෝලිත නාහිමියන්ගේ ආගමික අනුශාසනා පරිදි මෙම සමාරම්භක අවස්ථාව පැවැත්විණි. මේ සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ඉෂාන් සම්පත්, රොෂාන් තරංග, කහදුව මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ගෙවතු පිරිසුදුව තබාගනිමින් ඩෙංගු ඇතුළු බෝවන රෝග මර්දනයට ද මෙමඟින් විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති.
















